Dayan Witharana’s Birthday Wish for Sumedha Elpitiya, The Founder and Chairman of Thai Sumedha Enterprises

Gains Recognition through Numerous Awards
May 5, 2019
New showroom & retail outlet at Rajawasa
July 2, 2021

සුමේධ අයියාට ලංකාද්වීපයම සුමේධ ධූපයෙන් සුගන්ධවත් වන්නේ සේම ජීවනයම සුවඳවත් කරනා ප්‍රේමණීය උපන්දිනක් …………….

මෙරට කීර්තිමත් හඳුන්කූරු නිෂ්පාදන සම්මානයක් වන “ලංකා තායි සුමේධා හඳුන්කූරු” ව්‍යාපාරයේ සභාපතීවරයා වන සුමේධ ඇල්පිටිය අද දින සිය උපන්දිනය සමරයි.

1989 වසරේ ඒ වන විට වයස අවුරුදු 30ක පසුවූ සුමේධ විසින් ඇරඹූ හඳුන්කූරූ ව්‍යාපාරය මේ වන විට අන්තර්ජාතික ප්‍රමිති තත්ත්වය සහතික ලත් ලංකාවේ අංක එකේ දේශීය හඳුන්කූරු නිෂ්පාදන සන්නාමය වීම සතුටට සේම ආඩම්බරයට කරුණකි. BWIO ආයතනයේ තත්ත්වය සහතිකය ලද එකම ආසියානූ හඳුන්කූරු ආයතනය ලෙස මෙන්ම එම සහතිකය ලද ශ්‍රී ලංකාවේ පළමු හඳුන්කූරු නිෂ්පාදන ආයතනය ලෙස ද අභිමානවත් ගමන් මගක පිය නගන සුමේධගේ ආයතනය මේ වන හඳුන්කූරු නිෂ්පාදනයේ බලවතා වන ඉන්දියාවට ද අභියෝගයක් වෙමින් දේශීය නිෂ්පාදන කෙරෙහි තබන ගෞරවය අගය කළ යුතු ය.

මා ඔහු හඳුනාගන්නේ මා ඡායාරූප ශිල්පියෙක් ලෙසින් ක්ෂේත්‍රයට පැමිණි මුල් වකවානුවේම වන අතර අප හිතවත්කමට මග පාදනුයේ පූජ්‍ය පානදුරේ අරියදම්ම හිමිපාණන් ය. මම දිනක් එහිමියන් බැහැ දැකීමට ගොස් සිටින දිනයක, සුමේධ අයියා ද එහි පැමිණි අතර ඔහු පැමිණියේ කැමරාවක් ද අතැතිව ය. එදින මා ස්වාමින් වහන්සේට පාදනමස්කාර කරන අයුරු ඔහු ඡායාරූප ගත කළ අතර මම ද පෙරළා ඔහු පාදනමස්කාරයේ යෙදෙන අයුරු එම කැමරාවෙන්ම ඡායාරූප ගත කළෙමි. එදින පටන් අප සුහදත්වය ඇති වූ අතර එවකට ඔහු නුගේගොඩ අමිල ඡායාරූප ආයතනයේ සහකාර අලෙවි කළමණාකරු ලෙස සේවය කළේය. එහි අධිපති වූ මුණිදාස ගුණසිංහ මහතාට මවිසින් ගත් ඡායාරූප සුමේධ අයියා විසින් ගෙන ගොස් පෙන්වූ විට මගේ ඡායාරූප අගය කරමින් ඔහු සුමේධ අයියාට පවසා තිබුණේ උපරිම සාධාරණ මුදලකට මා හට වඩාත් සුදුසු වර්ගයක කැමරාවක් මිලට ලබාදීම සුදුසු බව ය. ඒ අනුව මා සන්තකයේ ඒ වන විට තිබූ Yashika MG2 වර්ගයේ කැමරාව වෙනුවට මා ඔවුන්ගෙන් Conita ST1 වර්ගයේ කැමරාවක් මිලට ගත් අතර මා විවාහ මංගල ඡායාරූපකරණයේ නියැලුණේ එම කැමරාවත් සමගින් ය.

මා බොහෝ විට ඡායාරූප සඳහා එකල ක්ෂණිකාලෝකය සෘජුවම ලබාදෙන අතර අහඹු ලෙස මා වෙනත් පසෙකින් ලැබූ අලෝකයක් ද ඡායාරූප හැඩ කර තිබූ අයුරු දැක එය සුමේධ අයියාගෙන් විමසීමි. එවිට ඔහු පැවසූවේ ක්ෂණිකාලෝකය එකවර ඉදිරියෙන් මෙන්ම පසුපසින් හෝ පැතිකඩකින් ද ලබාදිය හැකි පහසු දුරස්ථ පාලකයක් ඇති බව ය. එය අද්‍යතනයේ බොහෝ සුලබව දක්නට ලැබෙන සාමාන්‍ය මෙවලමක් වුවද එකල 1985 වසරේ පමණ මා එය දැන ගත්තේ එලෙසින් ය. කෙසේ නමුත් අදට ද මගේ ඡායාරූපවල බොහෝ දෙනා කතාබහ කරන පසුපස ආලෝකකරණය මා ඇරඹූවේ එම දුරස්ථ පාලකය ගැනීමෙන් පසුව වන අතර ඒ වෙනුවෙන් ද සුමේධ අයියාට කෘතවේදී වීම මගේ යුතුකමකි.

ඔහුගෙන් එකල එසේ අසා දැන ගෙන, ඒ අනුව යමින් මා මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳ ඔහු ද මා මෙන්ම සතුටු වන බව ඔහු නිබඳව පවසන අතර මගේ ඡායාරූපයකට ඔහු පෙනී සිටින්නේ ද මහත් සතුටකින් යුතුව යැයි ඔහු පවසන්නේය.

ඔහුගේ ආදරණීය මෑණියන් වන ප්‍රේමලතා මාතාව ද මේ වන විට 94 වැනි වියේ පසුවන අතර මවිසින් සුමේධගේ මව සමග ඔහු සිටින මෑතකදී ගත් ඡායාරූප ද මේ සමග පළ කරමි. ඇයට ද නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි.

නුදුරු පෙබරවාරි 04 වැනිදා ජනතා අයිතියට පත්වන නාරාහේන්පිට “රාජවාස” වෙළෙඳ සංකීර්ණයේ, මෙරට මුල්වරට විවෘත වන හඳුන්කූරු අලෙවිසැලේ හිමිකාරිත්වය ද දරණ සුමේධ නිසැකවම තවත් කෙටි කලක් ඇතුළත මුළු ලොවේම තම සන්නාමය රනින් බබළවන බව නිසැකය. ඔහු මට නිබඳව ඔහුගේ ආයතනයෙන් නිපදවන මදුරු විකර්ෂණ හඳුන්කූරු රැගෙන විත් තිළිණ කරන අතර මදුරු උවදුරින් බොහෝ ලෙඩ රෝග පැතිරෙන මෙවැනි කාලයක එම පැඟිරි හඳුන්කූරු විශේෂය ද ඉතා ප්‍රයෝජනවත් බව නොකියාම බැරි ය.

තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ කාලයක් යෙහෙන් වැජඹෙන්නට ඔහුට වරම් ලැබේවායි පතමි !!!


Leave a Reply

Your email address will not be published.